Bogus

මෙම ඉහළ මැද පංතියට පහළින් සුළු ඉඩම් හිමිකාරිත්වයක් සහිත නමුත් සිය ඉහළයාමේ අභිලාෂයන් සපුරා ගැනීම සඳහා එකී ඉඩම් හිමිකාරිත්වය ප‍්‍රමාණවත් නොමැති, මා මෙහි දී ග‍්‍රාමීය පහළ මැද පංතිය ලෙසින් හඳුනාගනු ලබන සමාජ ස්තරය දක්නට ලැබේ. කරුමක්කාරයෝහි විලිසොංගේ පවුල හරහා අපට මෙම පංතියේ ලක්ෂණ හඳුනා ගැනීමට පුළුවන. කරුමක්කාරයෝහි අපට හමුවන්නේ නිදහස් අධ්‍යාපනයේ ආරම්භයට පෙර කාලය තුළ මෙම පංතිය ආර්ථික වශයෙන් ඉහළ නැගීමට දරණ උත්සාහයන් හා එම උත්සාහයන් ස්ථාපිත ග‍්‍රාමීය ආර්ථික හා දේශපාලන සබඳතා හා ගැටෙන ආකාරයයි. අසත්‍ය කථාවක්හා පේ‍්‍රමයේ සත්‍ය කථාවයන කතා තුළ නිදහස් අධ්‍යාපනයේ ව්‍යාප්තියෙන් පසුව මෙම පංතියේ ගතිකයන් අපට මුණගැසේ. (උදා: නිමල් හා ඔහුගේ පවුල)

අවසාන වශයෙන් ආර්ථික වශයෙන් ඉතාම පහළ සැලකිය යුතු නිෂ්පාදන අගයක් සහිත ඉඩම් අයිතියක් පිළිබඳ ඉඟි හමු නොවෙන පංතියක සාමාජිකයින් අපට අමරසේකරගේ කථා තුළ අතරින් පතර හමුවේ. කලහයකෙටිකතාවේ මෙන්ම ගමනක මුලනවකතාවේ ද හමුවන අවජාතක දරුවෙක් බිහි කරන වෙදමහත්තයාගේ පවුලේ මෙහෙකාරිය ද, එම පවුලේම මෙහෙකරුවන් ලෙස පසු නවකතාවල හමුවන බ‍්‍රම්පි ද අපට මෙම පංතියේ සාමාජිකයින් ලෙස හඳුනාගත හැක. මෙම පංතිය ග‍්‍රාමීය නිර්ධන පංතිය ලෙස හැඳින්වීමට මම කැමැත්තෙමි. කරුමක්කාරයෝහි අදෘෂ්‍යමාන ඉඩම් හිමියකු වූ කණුකැටියේ කන්දෙ මහත්තයාගේ වත්තේ වැඩ කරන වැටුප් ශ‍්‍රමිකයින් ලෙස ද අපට මෙම පංතිය අබිමුඛ වේ.